හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි සැලැස්ම පිළිබඳ සමාලෝචන සාකච්ඡාව

671375651 1273493241613996 2759184940470142709 n  670313518 1273493294947324 9132065411661820343 n

669228224 1273493274947326 4810111740737497758 n

හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි සැලැස්ම පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) දින දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහි අරමුණ වූයේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන කෘෂිකාර්මික සැලසුම් වල කාර්යක්ෂමතාවය පවතින අඩුපාඩු හඳුනා ගැනීම ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි කාලෝචිත විසඳුම් සොයා බැලීමයි. මෙහිදී පසුගිය වර්ෂවල ක්‍රියාත්මක කරන ලද කෘෂි සැලැස්මවල ඇති වූ ගැටළු සහ අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ගැටළු සඳහා තිරසාර හා ප්‍රායෝගික විසඳුම් සකස් කිරීමේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ගොවි නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමද අවධාරණය කෙරිණි. බිත්තර වී සැපයුම් ක්‍රියාවලියේ අඩුපාඩු, පැළ කිරීම සඳහා භාවිතා කරන බීජ වියලීමේ අපහසුතා, කෘෂි යන්ත්‍රවල ඉහළ මිල ගණන්, කෘෂිකාර්මික මාර්ග පද්ධති දුර්වලවීම, ස්වයං බීජ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, ගුණාත්මක බීජ තවාන් සකස් කිරීමේදී පවතින ගැටළු, මුං වගා ආශ්‍රිත ගැටළු සහ මුං බීජ මිලදී ගැනීමේ ගැටළු ආදී කරුණු රැසක් සාකච්ඡා විය. තවද, කාලගුණ විපර්යාස, වියළි කාලයන් සහ ජල හිඟය වැනි තත්ත්වයන් හමුවේ කෘෂිකර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ජල සම්පත් කළමනාකරණය, නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම සහ ඵලදායිතාව වැඩි කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකාර්මික දත්ත පද්ධතියක් සංවර්ධනය කර නිවැරදි තොරතුරු මත සැලසුම් සකස් කිරීමේ වැදගත්කම සහ ගොවිජනතාව හා රාජ්‍ය අංශ අතර සන්නිවේදනය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ගොවියන්ට නව තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම, එළවළු හා පළතුරු පැළ බෙදාදීමේ වැඩසටහන් ආරම්භ කිරීම, ඖෂධීය පැළ වගා ව්‍යාපෘති ප්‍රවර්ධනය, වැව් හා අමුණු පිරිසිදු කිරීම මගින් ජල කළමනාකරණය ශක්තිමත් කිරීම, බිත්තර වී නිෂ්පාදනයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සෘජුව මැදිහත්වීම තුළින් ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, වී වගාවේ පවතින වල් වී ගැටළුවට ක්‍රියාකාරී පිළියම් හඳුනා ගැනීම, කෘෂිකර්මයට අදාළ වෙළඳපොළ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ගොවි ආදායම් වැඩිදියුණු කිරීම සඳහා නව වැඩසටහන් හඳුන්වාදීම වැනි කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ඩී.ඒ. පළිහවඩන හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක ආර්.පී.ඩබ්.ප්‍රසංගි, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චාමර මහගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, හම්බන්තොට කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයින් පිරිසක් සහ රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් එක්ව සිටියහ. (දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට)