“සරු යලක් - සරු හෙටක්“ ජාතික වැඩසටහනට‍ සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුණාත්මක බීජ වී සුලබතාවය වෙනුවෙන් 2kg ලියාපදිංචි බීජ (ස්වයං බීජ නිෂ්පාදන) ඇසුරුම් 10,000 ක්
==========================================
වී වගාවේ අස්වැන්න 20% කින් පමණ වැඩි කිරීම සඳහා ගුණාත්මක බීජ භාවිතයට‍ ගොවි ප්‍රජාව උනන්දු කිරීම අරමුණුකර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ බටඅත නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ) කාර්යාලය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අන්තර් පළාත්, පළාත් ව්‍යාප්ති හා මහවැලි බල ප්‍රදේශවල ගොවීන් සඳහා 2kg ලියාපදිංචි පන්තියේ බීජ ඇසුරුම් 10,000 ට වැඩි ප්‍රමාණයක් බෙදා හැරීමට කෘෂි ව්‍යාප්ති අංශය සමඟ එකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.
නව ආකර්ෂණීය ඇසුරුමක් ලෙස සකස් කරන ලද පළමු ඇසුරුම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී (26) දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීමේ දී එම කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා වෙත පිළිගැන්වීම සිදු කරන ලදි. මේ සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නාලිකා රුබසිංහ මහත්මිය සහභාගි වී සිටියහ.
මෙම 2kg ලියාපදිංචි බීජ ඇසුරුම් භාවිතයෙන් සහතික බීජ සඳහා වැය වන අධික යෙදවුම් මුදලින් අඩු ආදායම්ලාභී ගොවි ප්‍රජාව සුරක්ෂිත වන අතර නාඩු බීජ වී ඇසුරුමක් 500/=, සම්බා 520/= හා කීරි සම්බා (Bg 360) 540/= ලෙස සහනදායී මුදලකට මිල දී ගැනීමට අවස්ථාව සැලසෙන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති වැඩසටහන් යටතේ 50% ක සහන ක්‍රමයට ද බෙදා හැරීමට කටයුතු සැලසුම් කර ඇති බව අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සමන්ත වීරසූරිය මහතා පැවසී ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාවේ වල් වී පැතිරීම වලකාලමින් අස්වැන්න 20% න් වැඩි කිරීමත්, වී වගාව සඳහා වන මූලික වියදම් පහළ හෙලීමත්, අවසන් වශයෙන් වී මිල පහත හෙළමින් පාරිභෝගික ජනතාව වෙත අවම මිලකට ගුණාත්මක සහල් ලබාදීමේ වත්මන් රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ප්‍රයෝගික ලෙස ක්‍රියාත්මක කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණකි.

485108125 1126589016148644 8353079930421156919 n