හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ තිබෙන ගල්කොරිවල බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කෙරේ
==========================================
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති, පාර්ලිමේනතු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ දැනට ගල් කොරි 05 ක් පවත්වාගෙන යන අතර ඒවායින් මේ වන විට බලපත්‍ර කාල සීමාව තවදුරටත් පවතින්නේ ගල් කොරි 02 කට පමණක් බව මෙහි දී අනාවරණය විය. එම ගල් කොරිවල බලපත්‍ර කාල සීමාව 2025 ජූලි මාසයෙන් අවසන් වීමට නියමිත අතර ඉන් පසු වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ තිබෙන කිසිඳු ගල් කොරියක බලපත්‍ර අලුත් කිරීම නොකළ යුතු බවත් කමිටුව තීරණය කරන ලදි.
පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ගනු ලැබූ තීරණවල ප්‍රගතිය විමසා බැලීම, 2025 වර්ෂයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳව ඉදිරිපත් කිරීම, දකුණු පළාත් සභාව මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම, ගල් කොරි පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීම, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම ද සිදු කරන ලදි.
මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාළන ගරු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද සෙනරත් විතාරණ මහතා හා අතුල වෙළඳගොඩ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් දිලේකා සහබන්දු මහත්මිය, හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එච්.එබ්.එස්.තිලකරත්න මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, ප්‍රාදේශිය ලේකම්වරු, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, සංස්ථා, මණ්ඩල නියෝජනය කරමින් එහි ප්‍රධානීන්, සෞඛ්‍ය අංශ, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.

486367501 1126573012816911 8993008900530918496 n  486078446 1126572772816935 930781550904146394 n

486387970 1126573039483575 3784579982152483697 n  486826870 1126572412816971 8266032089489353732 n