“අලුත් ඉඩක් - පහසු දිවියක්“ ප්‍රජා සවි බල ගැන්වීමේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 18000 ක් සවිබල ගැන්වීට පියවර
===========================================
“අලුත් ඉඩක් - පහසු දිවියක්“ තේමාව යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන ප්‍රජා සවි බල ගැන්වීමේ වැඩසටහනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 18,000 ක් සවිබල ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි.
2025 - 2029 වර්ෂ තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන මගින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 ක් හා අස්වැසුම නොලබන පවුල් ලක්ෂ 05 ක් වශයෙන් දිවයිනේ පවුල් ලක්ෂ 20 ක් සවිබල ගැන්වීමට නියමිත අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 576 ක පවුල් 18000 ක් සවිබල ගැන්වීට සැලසුම්කර තිබේ.
මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදාළව අඩු ආදායම්ලාභී පවුල් තෝරා ගැනීම හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම මෙහි දී සිදු කරන ලදි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් / දිසාපති බිමල් ඉන්ද්‍රජිත් ද සිලවා මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගැනීම සිදු කරන ලද අතර ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රාධා නානායක්කාර මහත්මිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ පැහැදිලි කරන ලදි.
අනතුරුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සභාව ඇමතී ය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (සැලසුම්) මහේෂ් පෙරේරා මහතා විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදි.
ඒ අනුව අංශ කිහිපයක් යටතේ අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 360 දෙනෙක් සිටින අතර එක් නිලධාරියෙකුට නිශ්චිත කාලයක් තුළ අස්වැසුම ආධාර ලබන පවුල් 38 ක් සහ අස්වැසුම ආධාර නොලබන පවුල් 12 ක් වශයෙන් පවුල් 50 ක් තෝරාගෙන මූලික අදියර යටතේ සවිබල ගැන්වීමට නියමිත ය.
මේ අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් ප්‍රභා සෙනරත් මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුළ වෙළඳගොඩ මහතා ඇතුළු ජනතා නියෝජිතයින්, හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක මහතා, හම්බන්තොට දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ශාන්ති අලුත්ගේ මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, සැලසුම් අධ්යක්ෂවරු හා සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ උපදෙස් පරිදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය මගින් වැඩසටහන සංවිධානය කරන ලදි.







