හම්බන්තොට දිස්ත්‍රික් වෘත්තීය හා කාර්මික පුහුණු සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී 2022.09.08 දින පැවැත්විණි.

2021 දෙසැම්බර් මාසයේදි මෙම කමිටුව ස්ථාපනය කෙරිණි. පාසැල් හැරයන තරුණ තරුණියන්ට රටේ සංවර්ධනයට දායකවීම සදහා සුදුසු වෘත්තීය හැකියාවක් ලබා දීම මෙම කමිටුව පිහිටු වීමේ අරමුණයි. මෙමගින් විදේශීය හා දේශීය ශ්‍රම බලකාය සදහා සුදුසු වෘත්තීය දැනුම හා පුහුණුවක් ලබා දෙයි. විශ්ව විද්‍යාලවලට යාමට නොහැකිවන දිස්ත්‍රික්කයේ දරු දැරියන් ප්‍රයෝජනවත් පුහුණු ශ්‍රමිකයින් ලෙස සමාජයට පත් කිරීම සදහා දිස්ත්‍රික්කය තුළ ඇති වෘත්තීය පුහුණු ආයතන මගින් කටයුතු කරන අතර ඉදිරි වසර කිහිපයට ගැලපෙන වෘත්තීය පාඨමාලා එම ආයතන තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. ඒ සදහා වු සැලසුම් නිර්මාණය කිරීමද මෙදින සිදු විය.

ඒ සදහා මෙම දිස්ත්‍රික් කමිටුව යටතේ අනු කමිටු හතක් පත් කෙරිණි. එනම්

  1. පාසැල් අනු කමිටුව
  2. කර්මාන්ත අනු කමිටුව
  3. තෘතීයික හා කාර්මික සංවර්ධන අනු කමිටුව
  4. සම්පත් යථාර්තීකරණ අනු කමිටුව
  5. ව්‍යවසායකත්ව සංවර්ධන අනු කමිටුව
  6. ශ්‍රම වෙළදපොළ හා රැකියා අනු කමිටුව
  7. වෘත්තීය මාර්ගෝපදේශන අනු කමිටුවයි.

මෙහිදි අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්තුමා මෙසේ පැවසීය

“ අද රටේ සමෘද්ධිලාභී පවුල් ලක්ෂ දහඅටක් ඉන්නවා. රජයේ සේවකයින් ලක්ෂ දහඅටක් ඉන්නවා. ත්‍රීවිල් රථ පදවන අය ලක්ෂ දහතුනක් ඉන්නවා. මේ අයගෙන් රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයට සේවයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය දැනුවත් කර නිෂ්පාදන ක්ෂේත්‍රයට ගැලපෙන වෘත්තීය පුහුණුවක් ලබාදී ඒ සදහාවූ රැකියාගත කිරීමේ වැදගත් බව තේරුම් කළ යුතු වන්නේ. අද විදේශ රටවල ත්‍රීවිල් ධාවනය කරන්නේ කඩවල සහ සුපිරි වෙළද සැල්වල බඩු විකුණන්නේ වයසක පිරිස්. අපේ රටේ එම රැකියා කරන්නේ තරුණ පිරිස ඒ නිසා මේ අයට තමයි කතා කර නිවැරදි වෘත්තීය පුහුණුවක් ලබාදි ඵලදායී රැකියා සදහා යොමු කිරීමට කටයුතු කළ යුතුතේ. අද ගරාජ්වල වැඩ නැතිව ගිහින් තියෙනවා.

අද මන්ද පෝෂණය තියෙන දරුවන් ඉන්නවා. අන්න ඒ දරුවන් ඉලක්ක කර වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි. අපි සත්‍යයට මුහුණ දෙන්න ඹ්න. ඒ සදහා රැස්වීම් නොව ක්‍රියාකාරි වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි. අපි ගොඩ ගන්න ඕන ආර්ථිකයයි. මිනිසුන්ගේ ආර්ථිකය ගොඩ ගන්න වගා කරන්න ඕන ආහාර නිෂ්පාදනය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන ඒ සදහා මේ වෘත්තීය පුහුණු අය ක්ෂේත්‍රයට යන්න ඕන. ගිහින් මෙහි වැදගත් කම පහදා දි යොමු කරන්න පියවර ගතයුතුයි” එතුමා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සුමිත් ශාන්ත, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් දිස්නා පී රණසිංහ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික විතාරණ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් අයි.එල්.වික්‍රමනායක, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් ගංගා රුවන්පතිරණ, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මංජුල විදානපතිරණ, යූ ලීඩ් ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී ජගත් හේමන්ත හරිශ්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල නිලධාරී පිරිසක් එක්විය.

මෙම වැඩසටහන සදහා යූ ලීඩ් ආයතනය අනුග්‍රහය දක්වයි

aa1   aa2

aa3   aa4