2025 වසරේ අවසාන හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.12.17 දින මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පළමුව පසුගිය දිනවල පැවැති ආපදා තත්වයෙන් දිවි අහිමි වූ ජනතාව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති ලෙස කටයුතු කළ අභාවයට පත් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමා සිහිපත් කෙරිණි.
අනතුරුව පසුගිය කමිටුවේ යෝජනාවල ප්‍රගතිය විමසා බැලීම ගරු සභාපතිතුමන් විසින් සිදු කරමින් කියා සිටියේ පාසැල් දන්ත චිකිත්සාගාරයක් මිරිජ්ජවිල විදුහලේ ඉදිකිරීමට කටයුතු කර ඇති බැවින් ඒ සදහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් සොයා බලා කටයුතු කරන ලෙසයි.එසේම දැනට ඉදිකිරීම් නතරවී ඇති පාලම් සහ බෝක්කු ඉක්මනින් ඉදිකිරීම් කරන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය ඉදිරිපත් කරමින් දැනට ව්‍යාපෘති 49ක වැඩ අවසන් බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන පළමු අදියර යටතේ ව්‍යාපෘති 28ක්ද දෙවන අදියර යටතේ ව්‍යාපෘති 33ක්ද නිල සෙවන,ග්‍රාමීය සංවර්ධන වැඩ,ක්‍රීඩා පිටි සංවර්ධන,සෞඛ්‍ය,කෘෂිකර්ම,වාරිමාර්ග,වනසංරක්ෂණ,ප්‍රවාහන, ඇතුළු විෂයන් රාශියක ප්‍රගතිය දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂතුමන් විසින් ඉදිරිපත් කෙරිණි.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතාද මෙහිදී සභාව අමතමින් තමන් ප්‍රධාන ලේකම් වරයා ලෙස සහභාගීවන අවසන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෙය බවත් අදින් පසුව විශ්‍රාම ගන්නා බැවින් තමන්ට ප්‍රධාන ලේකම්වරයා ලෙස රාජකාරි ඉටුකිරීමේදී ලබා දුන් සහායට සියළු දෙනාටම ස්තුති කරන බවද පැවසීය.
මෙම අවස්ථාව සදහා පළාත් පාලන හා පළාත් සභා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්,ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අතුල වෙළදගොඩ,වෛද්‍ය සදරුවන් මදරසිංහ,දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්වරුද දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්විය.
( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට)