හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටළුව හා එමගින් කෘෂිකර්මාන්තයට සිදුවන හානි අවම කර ගැනීම සදහාවූ සාකච්ඡාවක් 2022.08.26 දින පෙරවරුවේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.

කෘෂි කර්ම,වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා බලපාන ඉහත ගැටළු පිළිබදව අවධානය යොමු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය.“ අලි මිනිස් ගැටුම පොදුවේ ලංකාවට බලපානවා. නමුත් හම්බන්තොටට එය විශේෂ ලෙස බලපානවා. අපි සම්බන්ධීකරණ කමිටුවේදීත් පසුගිය කාලයේ මේ ගැන කතා කළා. නමුත් විසදුම් ලැබී නැහැ. ඉදිරි මාස කිහිපය තුළ විසදා ගැනීමට කටයුතු කරනවා. මූල්‍ය ගැටළුත් තියෙනවා. නමුත් ඒවා අවම කරගෙන කටයුතු කරනවා. මේ සදහා බලපාන තෙල් ප්‍රශ්නය විසදා දෙන්න කටයුතු කරනවා. ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් එක්ව සාකච්ඡා කර අලි වැට ගහන්න කටයුතු කරන්න. වගාවන් සදහා හානිකරන වන සතුන් ලෙස හදුනාගෙන තිබුණේ අලියා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා, රිලවා, වදුරා,වගේ සතුන් තමයි. මේ සතුන් අපේ ආහාර වර්ග බොහොමයක් විනාශ කරනවා කියා හදුනාගෙන තිබුණා. මේ සතුන් වගාවන් වලට සිදු කරන හානිය පිලිබද එක එක ගණන් කිව්වා. අපිට ලබන සතියේ කියන්න පුළුවන් මේ සතුන්ගෙන් නිශ්චිතව වගාවන්ට සිදුවන හානියේ ප්‍රමාණය.මේ සතුන් වෙන වෙනම සිදු කරන හානි පිළිබද තොරතුරු රැස් කිරීමකුත් සිදු කරනවා. මේ සතුන්ගෙන් විශාල හානියක් වන බවනම් දැනගෙන හිටියා. අපිට අලියා විනාශ කරන්න පුළුවන් සතෙක් නෙවෙයි. අපි වෙන ක්‍රමවේදයකට තමයි අලියා ගමට එන එක නවත්තා ගන්නෙ. මේ වගාවන්ට හානි කරන සතුන් ඉවත් කිරීමේ බලය අපි කෘෂිකර්ම කමිටුවට ලබා දෙනවා. ඒ කමිටුව තමයි තීන්දු කරන්න ඕනෙ ඒ පළාතේ ඉන්න සත්තු පාලනය කරන්නෙ කියන එක.ඒකට සම්පූර්ණ බලය අපි කෘෂිකර්ම කමිටුවට දෙනවා. නමුත් අලියා ඉවත් කිරීමට බලය දෙන්නේ නැහැ. මොනරා තවම ආරක්ෂා ලයිස්තුවෙන් ඉවත් කර නැහැ.” ද පැවසීය.

මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ වන අලි කළමනාකරණ කළාපය ගැසට් කර තිබුණත් එහි බලතල කිසිවෙකුටත් පවරා නැති බැවින් ගැටළු විසදීම සදහා දිසාපතිවරයාට බලයක් නැති බවත් එම ගැසට් කිරීම සිදු කරන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද එය මෙතෙක් සිදු නොවු බවයි. පසුගිය පෙබරවාරි මාර්තු වලදී අලින් පලවා හැරිමේ සාර්ථක මෙහෙයුමක් සිදු කළ බවත් එයින් අලි 60ත් 68ක ප්‍රමාණයක් පලවා හැරීමට හැකිවූ බවද පෙන්වා දුණි.

මෙම අවස්ථාව සදහා හම්බන්තොට, සූරියවැව, තිස්සමහාරාම, ප්‍රාදේශීය සභා සභාපතිවරු, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සූරියබණ්ඩාර මහතා, හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්වරුන්, වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්විය.

5.1   6.3jpg   7.3jpg   9.3jpg