තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ඉඩමට හිමිකම් නොලැබූ පවුල් සදහා බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දිමේ වැඩසටහන

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විවිධ හේතූන් නිසා පදිංචි ඉඩමට මෙතෙක් හිමිකම් නොලැබූ පවුලේ 323ක් සදහා බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දිමේ වැඩසටහනක් පසුගියදා වාරිමාර්ග අමාත්‍ය හා ආරක්ෂක, ආපදා කළමණාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි සිදුවූ අතර සංකේවත් කරමින් 50 දෙනෙක් සදහා මෙහිදී ප්‍රදානයන් හිමිවිය.

වසර තිහකට ආසන්න කාලයක් මුළුල්ලේ විසදාගැනීමට නොහැකිව තිබූ ඉඩම් ගැටලු රැසක් නිමාකර තමන් පදිංචි ඉඩමේ හිමිකම ලබාදෙමින් ඉඩම් හිමිකම් බලපත්‍ර සහ නිරවුල් දීමනාපත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉඩම් කොමසාරිස් ජෙනරාල් දේපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රාශීයක් එක්ව කටයුතු සිදු කෙරිණි.

කොට්ඨාසය තුල අනවසර පදිංචි කරුවන් ලෙස වසර 30 කට ආසන්න කාලයක් සිටි අයට ඉඩම් හිමිකම් බලපත්‍ර සහ නිරවුල් දීමනා පත්‍ර ලබාදීමට අවස්ථාව උදාවිය. නිසි සුදුසුකම් සපුරා නොතිබීම, ඉඩම් කච්චේරි සදහා සහභාගී නොවී තිබීම, මැනුම් කටයුතු නිසි පරිදි අවසන් නොකිරීම, ඇස්තමේන්තු මූල්‍ය ප්‍රතිපාදන නිසි කලට වෙන් නොකිරීම වැනි විවිධ හේතු මත ඔප්පු හිමිකම නොලැබීම නිසා විවිධ දුෂ්කරතාවයන්ට පත් ජනතාවට සහන වැඩ පිලිවෙතක් උදාවිය.

මේ අවස්ථාවට හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි, සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරංගනී ගමගේ යන මහත්ම මහාත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද් )