"මිහිඳු නිවහන" ව්‍යාපෘතියේ හම්බන්තොට දිස්ත්‍රික් සමාරම්භක උත්සවය

සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජාකළ දෙමාපියන්ට උපහාරයක් වශයෙන් ඔවුන්ට නිවාස ඉදිකර දීම සඳහා ආරම්භ කළ "මිහිඳු නිවහන" ව්‍යාපෘතියේ හම්බන්තොට දිස්ත්‍රික් සමාරම්භක උත්සවය තංගල්ල, පුරාණ වනවාස කුඩා විහාරස්ථානයේදී ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහිදී පූජ්‍ය කටුවැවේ පියනන්ද හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් හම්බන්තොට, වීරකැටිය, වීරකැටිය නැගෙනහිර (කටුවැව) ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමට මීට සමගාමීව සිදුවිය.

"මිහිඳු නිවහන" වැඩසටහන සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 124 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කරන ලදි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් "මිහිඳු නිවහන" නිවාස ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර, ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි. දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කළහ.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ මහතා සහ උපුල් ගලප්පත්ති මහතා, දකුණු පළාත් සභාවේ හිටපු සභාපති සෝමවංශ කෝදාගොඩ, දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන ඩී.වී. උපුල් මහතා, එස්.වී.පී. ආනන්ද මහතා, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා,හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ගවේෂ කල්පන මහතා සහ රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි විය.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්‍රසාද්)